ෆලෝ කරන්න

Showing posts with label ජීවන. Show all posts
Showing posts with label ජීවන. Show all posts

Saturday, April 6, 2019

ජීවිත . . .



කපුටු බෝ රුක මුල
පාරමී පුරා අහවරව
වීදියේ කෙලවරට
මදක් ඔබ්බෙන්
වක ගැසුණු තුනටිය
යාන්තමට දිගහැර

සල්ලි කොල අතර
කාසිත් රැදුණු ඉටි මල්ල
දිගහරින ' සුපර්ණා '

ඉදහිට මග යනෙන
හසුවන වපර ඇස් වලට
කාසි කොල මිස හිතක
වෙන කිසිත් නොදැක්කා

ඇස් අගට තිබුණු
අලුත් උණු කදුලු කැට
දවසේම තත්පරත්
අඩුවෙන්ම ගැන්නා

තිස්අටේ කොට කොටා
ගියමුත්  විගසකට
අපේක්ෂාවෙන් ඈතකට
ඔහු නික්ම තිබුණා

සොවින් ඉතිරුණු හිතත්
වාරුකර බැරිතැනම
මුවින් ගොලු පීලි මත
ඈ වැතිර තිබුණා

Saturday, October 20, 2018

සුදු අම්මා . . .



මහ මුහුදක් ය
නුඹ ,

නුඹේ ඔය ආදරය
හිත ගැඹුරේ පුරෝගෙන
හංගාන හැම හැමට
හොර හොරෙන් බෙදන

දිනෙක . . .


සබඳ,
ප්‍රේමයේ විසල් ගහ කොළ
අවාරයේ යම් විටෙක 
පත්‍රයෙන් ඵලයෙන් පුෂ්පයෙන්
තොරව වියැකී මියැදෙනු ඇත

වාරයේ එහි
ශේෂ වූ අංකුරම
විසල්ව දළුලා වැඩෙන්නට

සමහර විටෙක ඒ අතර
බටිත්තන්ද හිදිනු ඇත
ප්‍රේමයේ කතන්දර
හෙමි හෙමින් මුමුණන

Friday, October 19, 2018

අතහැරුනු මතක . . .



ඉඩකඩක් ලද විටෙක
ඇවිත් යනවද මදක්


දැනුදු දැකිය හැකිවේය
නුඹ මා ඉදහිටක
ඇවිත් මුමුණපු ගස යටම
ප්‍රේමයේ නොමියෙනා පද
මිමිනෙනා බවක්


නුඹෙන් උණුහුම්වු සිත
නුඹ අතැර ගියත්
දිරායන බංකුවක
ඒ අහල තවත්
මුමුණයි ඒ හිතම
අතීතයේ වගක්

විල්පත්තුවෙන් . . .


විල්පත්තු ජාතික මුඩු බිමේ
අපි ඉන්නවා වැට කෙලවරේ
පෙර හැර වත් නැතිද පන්සලේ
අඞ ගහනවද අපෙ හිමියනේ

අප වෙනුවෙන් නැගූ ඒ හඞ
බොදව ගියා හද ගොලු කොට
යලි නෑසෙන ලෙස තිර ලෙස 
විල්පත්තුවේ මහ වන මැද

උන් ඇවිත් ලස්සනට
පොටෝ ගනිත් හරි හැඩට
අපි නියම ලෙස තිතට
ඉන්නවා තුටු ලෙසට

කන්න පල වැල බෝ අඩුයි
ඉන්න හෙවනත් නැති වගෙයි
සෙලවුනොත් වෙඩි නියතමයි
මෙහෙ හදිසි නීතිය වගෙයි

උඹලා ඇවිත් අපේ තැනට
සත්තු වගෙයි කරනා වැඩ
කළ හදියක තේරුම කිම
පැන නගද්දි පිළිතුරු නැත

මූකලානේ අපේ එවුන්
ගම් වැද උන් තැන නැති හැටි
හඩා වැටෙයි කියමින් සකි
නෑහෙන එක අරුමයේ හැටි

කැලේ දෙයියොත් අහක බලලා
අත්ත එල්ලූ ගහත් කපලා
කාගෙ සරණද මෙහෙට කියලා
කියනවද අපෙ දුකත් සොයලා

Saturday, December 30, 2017

උං හිටි තැන් . . .





මහ පවුරු බිඳගෙන

අලි ඇවිත් ගමට
වේදනාවෙන් දුවන
මිනිසුනේ අහිංසක ,



කියයි නුඹලට
කෑගසාගෙන


දස අතම විහිදුන
මහ ගසුත් බිඳගෙන
උන් ඇවිත්,

මූකලානට
...

Friday, October 7, 2016

කොළ බෙදන අක්කා . . .



වළං කබලක
පුච්චපු පොල් රොටිය
හතරට කඩා
එයිනුත් එකක්
දෙකට ඕ කඩන්නීය . . .

එයින් එකකින්
යන්තමින් එහෙන් මෙහෙන්
කුස පුරවාගන්නීය . . .

පැදුරු කඩමාල්ලට ගුලිව
නිදන දරු පැටවු දෙස
වරෙක ඈ යොමයි නෙත
නමුදු ඈ හොඳින් නොබලයි
දැනෙන දුක හපකර
දරාගන්නට ,

ලොකු එකී දැන්නම්
අද හෙටත් වගෙයි
වරෙක සිහියට නැඟෙයි
නමුදු ඈ හොඳින් නොබලයි
ආදරේ වැඩිකමට

තවම නොඉරුණු
හොඳම නිල්පාට සායට
බෝරිච්චි අත් දාපු
බ්ලවුස් එක හැඳ , හැඩව
හොඳට නොපෙනුනට
බිඳුනු කැඩපතකින්
යන්තම් බලා සැනහෙන්නීය . . .



අඩිය තුනී වුණු
රබර් අඩි සඟල
පතුලට වැඩියෙන්
යන්තමට ලොකුවුණු
ඇදුන . . .

පය ලාගත්තම දැනෙන
අපමන සහනය
බොරළු,
පය නොඇනෙන එකයි
කාපට් පාරක . . .

ගිණියම් වෙනකොට
රස්නය දැනුනට
පිච්චෙන්නෑ
මේ හිත තරමට
ඕ සිතන්නීය . . .

ටවුමේ ගුරුගෙන්
හනි හනික
ලීෆ්ලට් , හෑන්ඩ් බිල්
මිටි ගනන් පැක්කරන්
කරගහන්
යලිත් දුවයයි ඕ
පිම්මේම . . .

ගෙදර පොඩිඋන්
නොගියට ටියුශන්,
යවන්නම බැරිකමට

ඒ ලෙවල් - ඕ ලෙවල්
ශිෂ්‍යත්ව පන්ති ලඟ
මාකටින් පීලි උඩ
ඕ දුවයි අවුවේම . . .

උදැහනම බඩ වැටුණු
ඇබිත්තන් රොටිය
සුණුවිසුනු වෙලා ඇත
වරුවෙන්ම

උදේ පටන් පිම්මේම
දුවයි ඕ දවසේම
දාමුගුරු වගුරාම
වතුර උගුරක් නැති
ගිණිගහන අවුවේම . . .

Monday, October 10, 2011

පුතු . . .





හතර රියනක්
මොකටැ මයෙ පුත
නුඹේ වත
සඟවන්න පොළෝමත
වැසි බිඳක්
නොවැටුනු අහස් ගැබ
කුමටොදෝ 
කඳුලැලි වැටෙන විට
නුඹට දෙන්නට
දෙතනේ කිරිටික
හිඳිලා නොවැ
පවුකාර දිවියට
දෛවයෙන්
සරදම් සිනාදෝ
වැලලෙන පුතුටත්
හෙලූයේ අවසන

______

Monday, October 3, 2011

වීදියක ඉකිබිඳුම . . .



මාවතක
හිරු ,
නඟින බසින
වෙනසක්
නොමදැනෙන . . .

රොස් පරොස් පමණි
තනියකට
ලඟ උන්න
වැටුනු වැටුනු තැනින්
හඩු ගඳ
උරුම වුණ . . .

මමත් පියෙකි
පුත ,
මහ මඟත් අහිමි වුණ
අසරණකමට උදැහනම
නුඹට අතපෑව . . .

Friday, September 30, 2011

වන මැද . . .



තටු නොමේරුව
පැටවෙකි
දෙමාපිය රැකවරන
හොර හොරෙන්
මතක අතහරින
තැතදරන ඉගිලෙන්න
කිරිල්ලකට
මිතුරුව . . .

කටුව බිඳගෙන
ලොවට බට සැනෙකින්ම
හිත ඇදුන මුත්
තහනම්ය තවම
මෙ වන මැද
අතු අතර
රමනය
නුඹට . . .

ඇබින්දක්
ඉවසාපන් පැටව
කබරියකට
හසුවන්න මත්තෙන්
තලුමරා රසකර ගිලින
උණුසුම්ව තටු
දිගැරෙන තුරුවත්
මේ විසල් වන මැද
ඇත පිරිතිරී
බෝම වුණු විපරීත
මගහැර ඉගිලෙන්න . . .

Thursday, September 22, 2011

විඩාවුණු සිත . . .

හිතේ කරගැට
පිරී රලුවී
විඳපු දුක්
පැණි රසය වැඩිවී
එයත් තිත්තට
හැරී පෙරලී
දිවියේ රසයක්
නොදැනෙනා ලෙස
ඇයිද මෙලෙසින්
විඩාබර වී . . .

දුරු රටක හිඳ
තනිවු දිවියට
කොයිද පුත නුඹෙ
ලැබී සෙනෙහස
නුඹ නොමැති ලොව
කළු සුදුම මිස
වර්ණ නැත නුඹෙ
සිතුවමේ ලෙස . . .

දිනෙක වියපත්
මාව දුටු විට
හිතේ කරගැට
පිරිමදින්නට
හිඳී වී යැයි
මගේ තනියට
පමණි ලඟ මට
දිවි ගෙවන්නට . . .

පුතේ ඉඳපන්
එනතුරා මම
හරි විඩාවයි
දිවියේ මගෙ ලඟ . . .

Tuesday, August 9, 2011

සුදු පිරුවටය . . .

සුදු පිරුවට ,
එළාලූ ඇඳ මත
පැල්ලමක් ගැන දොඩන
මිනිසුනේ අසනුමැන . . .


ජීවිතේ අභියසක ,
සුදුවන්ව තිබියයුතු
ගුණ සපිරි හදවතක්
නොසොයාම සොයන ඔය
පිරිසිදුවේ වග කුමට . . .

Monday, August 8, 2011

වාරය . . .



ඵල දැරුමට
නැතිය තව අවසර
එනමුදු ,
එළඹ ඇත කාලය
වෙරළු මල් 
සුවඳ ඇරඹෙනා වාරය . . .
කුරුට්ටන් ,
සිත්හී අඹා යහමින් 
නා නාවිද රූ කැටයම්
අත්කම් කරන්නට
පටන්ගෙන රහසේම
හැඳි වතවත් නොසිතාම
තවරගෙන සායම්
සිතුවම් කරමින් ,
සිතියම් . . .

Tuesday, July 26, 2011

කසල ගොඩේ . . .

කසල ගොඩ
වටේ පිරුණු
කපුටු රැලගේ
කරව් හඬට
නිකමට ,
අඩියට දෙකට
ලංවන විට
දැණුනු ,
කිරිකැටි සුවඳට . . .


පිරිලා ඉතිරිලා
දැණුනු හැඟුමට
දිටින් ,
රෙදි කඩින් එතුනු
අහිංසක ,
බිළිඳු රුව . . .


සොයමි ,
තෝරමි ලහි ලහියේ
හැඟුම් . . .


සාප දෙන්නද
වැදූ එකාලට
නුඹ මෙහි දමා
අතැර ගිය පව්කාර . . .


නැහැ ,
ඉගෙනගන් පුතේ
නුඹවත්
නොකරන්න කිසි දිනෙක
මෙලෙසකින් කිසිවිටෙක
ඉගෙන ගන්නට
නුඹෙන් පාඩම්
වැදූ මව්පියනට
මෙළොව . . .

Monday, July 25, 2011

හීන . . .



උදේ කෑවා ,
ඉස්තරම්ම වර්ගයේ 
පොල් රොටියෙන් බාගයක් . . .
ඒකත් සීනි අහුරක් එක්ක
කන ගමන් හිතුනෙත්
දවල්ට කන්න ඕනෙ
බුරියානි . . .

දවල්ට කනවා ,
අර ඉස්තරම්ම වර්ගයේ
ඉතුරු පොල් රොටි බාගය . . .
ඒ කන ගමනුත්
රෑට නම් කොහොම හරි
කන්න ඕන
බුරියානි . . .

Saturday, July 23, 2011

ලියමන . . .


මයේ පුතේ ,

කාරි නෑ
ආවා නොවැ දිනෙක
පහුගිය දෝහේ
ඇති නොවැ එමට
රාජකාරිත් පිරුණු . . .  

බඩ කට පිරෙන්න
හරි රස කැම
පිරිලා යනවා මුළු හිතම
සුවඳට . . .
හිරවෙනවත් වෙලාවකට 
සිහියක් නැතුව කනකොට 
අතින් අනලා 
කවන කටකට වඩා 
රහයි උණු උණුවේ 
හැන්දෙන් කනකොට
කඳුළුත් එනවා වෙලාවකට . . . 

ඔව් පුතේ
අරුමෝසම් එමටයි
රූප පෙට්ටිය දාගත්තම
හරි පංකාදුයි
අපේ කට්ටියත් සතුටින්
හිනැහුණු ගමන්මයි
හැමදාම මෙතන
කඳුළුත් එනවා වෙලාවකට . . .  

යාළුවොත් ගොඩයි
මේ නාකි මට
පවුලේ උන් වගේ
මේ වහලේ යට . . .  

වෙලාවක ,
මුණුබුරොත් එක්කරන්
වරෙන් ඇවිත් යන්න
උන් දැං ලොකුද
ඩිංගිත්තක් බලාගන්න
එච්චරයි මතකයට
එන්නේ නැත්තේ හරියකට
අනිත් හැමදේම නම්
මතකයේ නිමක් නෑ 
නාකිවෙලත් බලාපංකො
මතකය ,
නේද මයෙ පුතේ . . .  

පුළුවං නං උඹේ ඔය 
සෙකට්‍රි නෝනට ,
මතක ඇති තැනක 
තියන්න කියාපං
වැඩ රාජකාරිත් ඇතිනේ
ඒ අස්සේ මේවා කියවන්නේ කොයිද
මම දන්නේ නැතුවෑ මයේ පුතේ
නිවීහැනහිල්ලේ එපෑ කියවන්න
රත්නත්තරේ පිහිටයි
මයේ පුතේ උඹට . . .

Friday, July 22, 2011

ටියුශන් ලඟ . . .




ආලේ පාන සරුවත් පෙම්
පාට පාට දාල හොඳට
සේද සේද සළු දවටන්
පුංචි හිතට වී කුළුපග

සීනි බෝල ටොපි චොකලට්
වියදම දෙන තෑගි බෝග
ජීවිතයේ කඩඉම් ලඟ
සිනා සලයි සරදම් ලෙස

හිතට තුරුළුවූ පත පොත
ඉකිබිඳිමින් ඇත පසෙකින්
ඉස්සර වී පෙම් රැඟුමන්
ජීවිතයම වී සල්ලං

ටියුශන් ලඟ පොරකත් පෙම්
කුමර කුමරි අහුරුපිටින්
වගා නොකර විසිකර පොත
අස්වනු සොයනා ජීවිත

Thursday, July 7, 2011

හිතද නුහුරද . . .




තුඩ ,

මොට්ට පැන්සල
ගැලපුවා පද
අපූරුවට
ගානක්වත් නැතුව . . .


ඊයේ මම ,
මොට්ට වෙච්ච
පැන්සල ,
උල්කරා තුඩ
සිහින්වෙන තරමට
හොඳට . . .


තව තව ,
ලියන්න හිතාගෙන 
හොඳට . . .


දැං දැං ,
කොයි තරං මොනවා හිතුනත්
ලියවෙන්නෙම නැති හැටියක් ,
හරියට . . .


හිතද ,
නුහුරද . . .


දේශපාලනය . . .



නෑ මගේ ලඟ

පාට නම් ගෑවිච්ච
මැදහත්ව හිඳ
කියමි මෙබස
බර කර . . .

නඩු බඩු දෙකම
හාමුදුරුවන්ගේයැ
කිය කියා දඟලන
කීදෙනෙක් මඩි
තර කරගණුද
විකුණා මුකරිකම
සමඟ එකට අනා බස
සැඟව එක එක ,
පැලඳි මූණට . . .

--------------------- : කොහිද ජයගණු මෙලෙස විප්ලව

Sunday, June 26, 2011

අකල . . .


බිරියද ,

යහපත්ය
කරක් උසට
දරුය
තැන්පත් අවදියක
හිත ,
වෙනතකය
සොයනා 
පහසක් තුළය
වියපත්ව 
ඇතත් අද
------------------------------
-- - අයෙක් -