වළං කබලක
පුච්චපු පොල් රොටිය
හතරට කඩා
එයිනුත් එකක්
දෙකට ඕ කඩන්නීය . . .
එයින් එකකින්
යන්තමින් එහෙන් මෙහෙන්
කුස පුරවාගන්නීය . . .
පැදුරු කඩමාල්ලට ගුලිව
නිදන දරු පැටවු දෙස
වරෙක ඈ යොමයි නෙත
නමුදු ඈ හොඳින් නොබලයි
දැනෙන දුක හපකර
දරාගන්නට ,
ලොකු එකී දැන්නම්
අද හෙටත් වගෙයි
වරෙක සිහියට නැඟෙයි
නමුදු ඈ හොඳින් නොබලයි
ආදරේ වැඩිකමට
තවම නොඉරුණු
හොඳම නිල්පාට සායට
බෝරිච්චි අත් දාපු
බ්ලවුස් එක හැඳ , හැඩව
හොඳට නොපෙනුනට
බිඳුනු කැඩපතකින්
යන්තම් බලා සැනහෙන්නීය . . .
අඩිය තුනී වුණු
රබර් අඩි සඟල
පතුලට වැඩියෙන්
යන්තමට ලොකුවුණු
ඇදුන . . .
පය ලාගත්තම දැනෙන
අපමන සහනය
බොරළු,
පය නොඇනෙන එකයි
කාපට් පාරක . . .
ගිණියම් වෙනකොට
රස්නය දැනුනට
පිච්චෙන්නෑ
මේ හිත තරමට
ඕ සිතන්නීය . . .
ටවුමේ ගුරුගෙන්
හනි හනික
ලීෆ්ලට් , හෑන්ඩ් බිල්
මිටි ගනන් පැක්කරන්
කරගහන්
යලිත් දුවයයි ඕ
පිම්මේම . . .
ගෙදර පොඩිඋන්
නොගියට ටියුශන්,
යවන්නම බැරිකමට
ඒ ලෙවල් - ඕ ලෙවල්
ශිෂ්‍යත්ව පන්ති ලඟ
මාකටින් පීලි උඩ
ඕ දුවයි අවුවේම . . .
උදැහනම බඩ වැටුණු
ඇබිත්තන් රොටිය
සුණුවිසුනු වෙලා ඇත
වරුවෙන්ම
උදේ පටන් පිම්මේම
දුවයි ඕ දවසේම
දාමුගුරු වගුරාම
වතුර උගුරක් නැති
ගිණිගහන අවුවේම . . .
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට .