ෆලෝ කරන්න

Saturday, December 30, 2017

උං හිටි තැන් . . .





මහ පවුරු බිඳගෙන

අලි ඇවිත් ගමට
වේදනාවෙන් දුවන
මිනිසුනේ අහිංසක ,



කියයි නුඹලට
කෑගසාගෙන


දස අතම විහිදුන
මහ ගසුත් බිඳගෙන
උන් ඇවිත්,

මූකලානට
...

Wednesday, December 21, 2016

ගෝනි බිල්ලෝ . . .

ඉඩ දියන් ගෝනියේ
ඉක්මනට හැංගෙන්න
එනවා මගෙ පස්සෙන්ම
කළ පවක හෙවනැල්ල 


වාඩියට යන මගදි
එපා බිම හලන්නට
කෙල බිඳක් වත් අහක
දැනගනී ලෝකයම 


සඟවපන් ලෝකෙන්ම
ගැතිවෙමි නුඹට මම
හැමදාම නුඹේ ලඟ
මෙහෙවරෙම රැඳෙන්නට


හැකිතරම් කාලයක්
ලෝකයෙන් සැඟවුනත්
හද දොරෙන් බේරුමක්
නැති බවයි ලඟකවත්


නිදහසේ මියෙන්නට
පැතු පැතුම් අහලකත්
නැති කටොර වාඩියක
මුස්පේන්තු හීනයක්


එපා කිසි දිනකවත්
හිමිවන්න කාටවත්
දරන දිවි පිලිවෙතක
මෙවන් පාපී ලොවක්

Friday, October 7, 2016

කොළ බෙදන අක්කා . . .



වළං කබලක
පුච්චපු පොල් රොටිය
හතරට කඩා
එයිනුත් එකක්
දෙකට ඕ කඩන්නීය . . .

එයින් එකකින්
යන්තමින් එහෙන් මෙහෙන්
කුස පුරවාගන්නීය . . .

පැදුරු කඩමාල්ලට ගුලිව
නිදන දරු පැටවු දෙස
වරෙක ඈ යොමයි නෙත
නමුදු ඈ හොඳින් නොබලයි
දැනෙන දුක හපකර
දරාගන්නට ,

ලොකු එකී දැන්නම්
අද හෙටත් වගෙයි
වරෙක සිහියට නැඟෙයි
නමුදු ඈ හොඳින් නොබලයි
ආදරේ වැඩිකමට

තවම නොඉරුණු
හොඳම නිල්පාට සායට
බෝරිච්චි අත් දාපු
බ්ලවුස් එක හැඳ , හැඩව
හොඳට නොපෙනුනට
බිඳුනු කැඩපතකින්
යන්තම් බලා සැනහෙන්නීය . . .



අඩිය තුනී වුණු
රබර් අඩි සඟල
පතුලට වැඩියෙන්
යන්තමට ලොකුවුණු
ඇදුන . . .

පය ලාගත්තම දැනෙන
අපමන සහනය
බොරළු,
පය නොඇනෙන එකයි
කාපට් පාරක . . .

ගිණියම් වෙනකොට
රස්නය දැනුනට
පිච්චෙන්නෑ
මේ හිත තරමට
ඕ සිතන්නීය . . .

ටවුමේ ගුරුගෙන්
හනි හනික
ලීෆ්ලට් , හෑන්ඩ් බිල්
මිටි ගනන් පැක්කරන්
කරගහන්
යලිත් දුවයයි ඕ
පිම්මේම . . .

ගෙදර පොඩිඋන්
නොගියට ටියුශන්,
යවන්නම බැරිකමට

ඒ ලෙවල් - ඕ ලෙවල්
ශිෂ්‍යත්ව පන්ති ලඟ
මාකටින් පීලි උඩ
ඕ දුවයි අවුවේම . . .

උදැහනම බඩ වැටුණු
ඇබිත්තන් රොටිය
සුණුවිසුනු වෙලා ඇත
වරුවෙන්ම

උදේ පටන් පිම්මේම
දුවයි ඕ දවසේම
දාමුගුරු වගුරාම
වතුර උගුරක් නැති
ගිණිගහන අවුවේම . . .

Saturday, September 24, 2016

පොඩි සාදු . . .


බණ පොතට හිත
වඩා ලඟ නැතුවාට
බුදු සාදු මට නුඹගේ
ලෙංගතුව නැතුවාද

හිත හඬන තරමටම
හංගනවා හැමගෙන්ම
පොඩි සාදු පිටිසරින්
කොළඹ පංසල් ආව

අපිට නෑ පත පොත
මහා පරිනත වෙන්ට
හේනෙ බර වැඩ මිසක
පංසලත් රැකගන්න

කොළඹ අහසත් පෙනෙන
ඝණඳුරයි එහෙ වගෙම
ඒත් මෙහෙ නෑ නොවෙද
අලි අවුත් පන්නන්න

පොඩි නම දැං හොඳයි
පිරිවෙනට කාලයත්
උප්පැන්නෙ අරං එමු
කියයි දැං ලොකු නමත්

තුනට හතරට නවපු
ඉරී ගිය කොං නැවුණු
පරඬැල් කොලයක්ය
උප්පැන්නෙ කටුගාපු

පුරවපු අකුරු
නැතුවට හිස්වට ලියැවුණු
කතන්දරයක් ලොකුම
පුරවලා විය තිවුණු

මවු පියන් නැත,
"විවාහක"
අවුරුද්ද ඇතත් නැත
දිනයක් උපන්න
පියා ගැන දිගම දිග
ඉරක්ය ඇඳිච්ච
මේ අතර පොඩිනමත්
පංසලට වැඩැම්ම

පං පැදුරට වඩා
සුව නැතුවාට මට
ස්ප්‍රින් මෙට්ට
ජීවිතේ අහුමුළු
හොඳින් අමදිමි
පිරිපහදු වන්නට
ඉබේටම මට ලැබුණු
හිස්තැන් පුරවන්න

ආසයි මට ටිකක්
හැමදේම අතහැරත්
ඇබින්දක් විතරක්ම
උඩුගං පීනන්න . . .

ඔහු හිතින් මුමුණවයි 

Sunday, September 18, 2016

උක්කුවාගේ ට්‍රැක්ටරය . . .

උක්කුවාගේ ට්‍රැක්ටරය
ඌ ඒක ,
හැමදාම උදැහනම
නමෝවිත්තියෙන් මඩට දාන
ක්ලච් එක බ්‍රේක් එක
එකටම පාගාන
ට්‍රැක්ටරයේ ගමනත්
හිරකරගෙනම දුවන
උක්කුවාගේ ට්‍රැක්ටරය
ආයෙමත් හවහට
හොඳින් සෝදා නහවා
ගොඩගන්න . . .
මුදලාලි අතට දෙන
පනම දෙක හවහට
කෑදරෙන් හනික ගෙන
පේමගේ ගුබ්බෑයමෙන්
කලවන් අඩිය වැඩි මිලට
උගුරට දෙකට
කලවන් නොකරම
උගුරටම හලාගෙන
කාරලා අහකට
අජුව විසි කරන
කාසියක් දෙකක්
අත රැඳුනු ඉතුරුවුණු
මහතුන්ගේ බූරුපිටියට
ඉබාගාතෙ විසිකරන
වෙරි මතට
ගුරු පාර නොපෙනීම
හිස් අතින්
වැටදිගේ බඩගාන
පැල් කොටය අමතකව
අම්බලමෙම තපින
හතරවටින් එලියවැටෙන
අඳුර බිඳගෙන
ආයෙමත් උදැහනම
උක්කුවාගේ ට්‍රැක්ටරය
ඌ ඒක ආයෙමත්
මඩටම ඔබන . . .

ලියමි මතකය පිනිස . . .

උඹට මට,
මේ විසල් කොළඹ අහසට
නැතිවද එකදු තරුවක් අද
දිලිහෙන ,
කවියකට මුලපුරන . . .
මං මාවත් අතරමඟ
කහ පාටටම
නිවි නිවී දැල්වෙන
සංඥා එළිම මිස
මැදියමට
ඔහේ ඕනෑ එකෙකුට
රිංගා යතහැකිම . . .
පෙන නැතිව වත්කළ
බීර වීදුරුවකට
ගැනිය හැකිවුනි
තත්පර
කප්පරකට ගතවූ
අතීතයෙන් බිඳකට
සුහදවුණ . . .
නන්දි උඹ එක්ක
එක්ව ගත කළ නිමේශය
උඹේ වචනත් එක්ක
ලියමි මතකය පිනිස . . .

සඳ නුඹ . . .

සඳ නුඹ,
කිමද සැඟවී තවම
වළා පට ඉරාගෙන
නේන්නේ කිම . . .
පිනි දියෙන් කුල්මත්ව
පොපියෑව රෝස පෙති
තවමත්ම සුදුමැලිය
නොපෙනේද නුඹට තව
හතරවට ඝණදුරට
නුඹේ වත සතපන්න
පැන නගන පුංචි පුතු
නොනිදාම ඇකයෙහිය
නුඹේ ගැන කතන්දර
හිතපුරාවට අහන
පුතු හිඳින මානයට
ඇවිත් යනවද වරෙක
අමාවක බැවු මමද
දනිමි අද හොඳහැටිම
මගේ දිවි එලෙසමයි
නුඹත් දන්නවා නොවෙද
අප්පච්චි කෝ කොහෙද
පුතු සොයන විට ඔහුව
මම කීවේ නුඹ ගැනයි
සිතින් ඔහු සඟවාම
අනේ වරකට එබී
වළා අතරින් බිමට
නුඹේ මුව පෙන්න්නන්න
මයෙ පුතුට සැනහෙන්න . . .